දෝහා සිට බර්වා දක්වා


“බර්වා” කියූ විට ලංකාවේ අපට නම් මතක් වන්නේ බරවා රෝගයයි. සිංහලෙන් විහිලු සහගත නමක් වුවද බර්වා යනු කටාරයේ අලුතින් ඉදිවන ආයෝජන කලාපයකි. වර්ග කිලෝමීටර් 11,000 කට ආසන්න භූමි ප්රවමාණයකින් සමන්විත කටාර් රාජ්‍යය මැද පෙරදිග කලාපයේ පිහිටි කුඩාම රාජ්‍යයන්ගෙන් එකකි. ප්‍රමාණයෙන් එය අපේ පුංචි ලංකාවටත් වඩා පස්ගුණයකින් පමණ කුඩාය. මෙම භූමි ප්‍රමාණයෙනුත් වැඩි කොටසක් පිහිටා ඇත්තේ කාන්තාර පෙදෙස්ය. ලෝකයේ තුන්වැනියට විශාලතම ගෑස් නිධියට හිමිකම් කියන කටාරය ලොව වැඩිම ඒක පුද්ගල ආදායමක් ලබන රට ලෙසද වාර්ථා වෙයි.
පසුදා පාන්දරම ඇහැරුනේ තව දුරටත් නිදාගන්නවා කියමින් ඇඳෙහි වැතිරී හිඳීම ඒ වනවිටත් අප්‍රසන්න වී තිබුනු හෙයිනි. නන්දන අයියාටද නින්ද ගොස් නොතිබුන බැවින් ඔහුද ඇහැරී සිටියේය. කාමරයෙන් එළියට පැමිණි අප මැද සාලයෙන් ඉහළ මාලයට යන්නට තිබූ පඩිපෙලෙහි වාඩිවුනෙමු.
මට දැනුන හැඟීම්ම නන්දන අයියාටද දැනී ඇති බව ඔහුගේ මුහුණ බලා මා තේරුම් ගතිමි. ඒ නිසා ගෙදරට කෝල් එකක් ගන්නා ලෙස පවසා මගේ දුරකතනය ඔහුට දුනිමි. ඉදිරියෙන් වූ කුස්සියේ කවුරුන් හෝ උයනු පෙනේ. මා ඒ අසලට ගොස් ඔලුව ඔබා බැලුවෙමි.
එහි සිය දහවල් කෑම වේල සකසමින් හිටියේ දර්ශනය. (දර්ශණ යැයි දැනගත්තේ පසුවය). මා දුටු විගස ඔහු අලුතෙන් නේදැයි ඇසුවේය. පසුව ඔහු විසින්ම රත්කළ උණූවතුර ද, ඔහුගේම සීනි,තේ කොළ හා පිටි ලබාදී තේ සාදාගන්නා ලෙස මට පැවසුවේය. සැබවින්ම ඒ සත්කාරයෙන්ම හිත පිරී ගියේය. දර්ශණගේ ගෙවල් නිට්ටඹුව පැත්තේ බවක් මගේ මතකයේ යන්තමින් රැඳී තිබේ. දර්ශණත් මමත් ආගිය තොරතුරු විමසන ගමන්ම මටත් නන්දන අයියාටත් තේ දෙකක් සෑදුවෙමි. දුරකතන ඇමතුම නිමාකර ඔහුද පැමිණියේ මේ දැන්ය. පිටරට ජීවිතයේ කටුක බව දැන් දැන් අපට දැනෙමින් තිබුනේය. දර්ශණ උයන ආකාරය බලා සිටි මට ඔහු උයන්නට නුපුරුදුකාරයෙක් බව පෙනිනි. එහෙත් කුමක් කරන්නද? සියල්ලෝම මේ ඉරණමට මුහුණ දී සිටියෝය. කිසිවෙකුටත් වෙන අය වෙනුවෙන් කැපකිරීමට කාලයක් නොමැතිය.
තවමත් පාන්දර 4 පමණ බැවින් මෙතැන කලබලකාරීත්වයක් නොතිබිනි. අපව කැඳවාගෙන යාමට වාහනය පැමිනෙන්නේ 8.30ට බව කලින් දිනයේ පවසා තිබිණී. කාල වේලා බොහෝ ඇතත් මුහුණ කට සෝදා අනෙකුත් කාර්යයන් අවසන් කළේ තව ටිකකින් මෙහි ඇතිවන තදබදය ඉවෙන් මෙන් දැනුන නිසාය. සිතුවාක් මෙන් උදේ 6 වන විට ඇහැරුන පිරිස් 7.30 වෙද්දී ලෑස්ති වී පිටත්ව ගියේ අපට හුස්ම ගන්නවත් වෙලාවක් නොතබාය. හරියට එකම කාර්යයකට පුරුදු කළ රොබෝවරු මෙන් ඔවුන් ඒ කාර්යයන් අතිදක්ෂ ලෙස සිදුකළෝය.
අද නම් වෙලාව නොවරදවා බිරේන්දර් සිං 8.30ටම පැමිණ තිබුනේය. අපි ඔහුට සුභ උදෑසනක් පැතුවෙමු! ඔහුද පෙරළා “නමස්තේ ශුභ ප්‍රභාත්” යැයි පැවසීය. හින්දි භාෂාව ගැන ලොකු අවබෝධයක් නැති අපට තේරුනේ නමස්තේ යන්න පමණකි. දැන් අලුත් චාරිකාවක් සඳහා ගමන් ආරම්භ කිරීමට සියල්ල සූදානම්ය. අප පළමුව පෙරදා අනෙක් 6 දෙනා බැස්සවූ ස්ථානයට ගොස් ඔවුන්වද නංවා ගත්තෙමු. අපේ ගමනාන්තය වූයේ අන්සාර් සමාගමේ මූලස්ථානයයි. කටාරයේ සිරි හරිහැටි නරඹන්නට හැකිවූයේ අදය. නවීන පාරවල් ඔස්සේ බස්රථය ඇදී ගියේ අපට නැවුම් අත්දැකීම් එකතු කරමින්ය. මේ සියල්ලම පාහේ අලුතින් තනා තිබේ. සෑම වටරවුමකම මල් වවා ගස් සිටුවා ඉතා සුන්දර ලෙස සකසා තිබුණි. නොවරදින අංගයක් වූයේ ඉඳි ගස්ය. බොහෝ ගස් , ගස් පිටින්ම ගෙනවිත් සිටුවන ඒවා බව දැනගන්නට ලැබුනේ පසුවය.
අන්සාර් හි මූලස්තානයට පැමිණෙන විට වේලාව උදේ 9 පමණ වන්නට ඇත. අප පිවිසුනේ සුපිරි වෙළඳ සංකීර්ණයේ ප්‍රධාන දොරටුවෙනි. සැබැවින්ම එය ලංකාවේ දකිනවාට වඩා විශාල විචිත්‍රවත් සුපිරි වෙළඳ සංකීර්ණයකි. මෙම ගොඩනැගිල්ලේම කොටසක මූලස්තානය කාර්යාල පරිශ්ර ය පවත්වාගෙන යයි. විචිත්‍රවත් සිනහවෙන් සංග්‍රහ කරන පිලිපීන ජාතික යුවතියෝ සෑම තැනකම සිටියහ. කිසිම ලෝභකමක් නොමැතිව සිනා සීමට පිලිපීන යුවතියෝ දක්ෂය. එහි සිටි එක් ඉන්දීය ජාතික නිළධාරියෙක් සිව්වන මහලට යන ලෙස දැනුම් දුන්නේය. විදුලි සෝපානයෙන් අපි සිව්වන මහලට ළඟාවුනෙමු. එය ඉතාම කලබලකාරී මොහොතකි. කඩිමුඩියේ විවිධ නිළ ඇඳුම් ඇඳගත් පිරිස් එහා මෙහා දුවනු පෙනිනි. ටික වේලාවකින් මානව සම්පත් කළමනාකරණ අංශයේ අයෙක් පැමිණ අපට පුරවන්නට කියා අයදුම්පතක් ලබාදී ගියේය. අසල තිබූ සෝපාවෙහි හිඳගෙන අපි එය පුරවා අවසන් කළෙමු. ටික වේලාවකින් අපට ඇතුලට පිවිසෙන ලෙස ඇරයුමක් ලැබිණි. එය රැස්වීම් ශාලාවක් විය. විශාල ඔපදැමූ ඕවලාකාර මේසයට ළංකර තිබූ පුටුවල අපි වාඩි වුනෙමු. දැන් කුමක් වේදැයි නොදන්නා නිසා අප සැවොම සිටියේ නොඉවසිල්ලෙනි. ටික වේලාවකින් ඉතා ප්‍රසන්න පෙනුමැති අරාබි ජාතිකයෙකු යැයි කිව හැකි අයෙක් කාමරයට ඇතුලු විය. ඔහු ප්‍රසන්න සිනහවකින් අපට සංග්‍රහ කර සුභ පැතුවේය. ඔහු මානව සම්පත් කළමනාකරුවෙකු ලෙස අපට හඳුන්වා දුන්නේය.
කෙටි කාලයක් තුළ සමාගම ගැනත් එහි විකාශනය හා නීතිරීත් ගැනත්, කටාරය හා එහි ජන ජීවිතය මෙන්ම නොකළ යුතු දෑ පිළීබඳවද අපව දැනුවත් කෙරිනි. ඉන්පසුව අපිට අදාළ නිළ ඇඳුම් ලබාගැනීමටත්, හැඳුනුම්පත් ලබාගැනීම සඳහාත් විවිධ ස්ථාන වලට යොමු කරන ලදී. සියල්ල අවසානයේ එළැඹුනේ ඒ තීරණාත්මක අවස්ථාවයි. එනම් අප අනුයුක්ත කර ඇති සේවා ස්ථානය කුමක්ද යන්න හඳුන්වා දීමයි.
එක් එක් අයගේ නම හා ඔවුන් අනුයුක්ත කර ඇති සේවා ස්ථානය ප්‍රකාශ කළේ ඉන්දියානු ජාතික නිලධාරියෙකි. අවසානයේ මාත් ඇතුලුව පස්දෙනෙක් ඒ ගමනට තේරි තිබුනේය. එනම් බර්වා බලා යාමටයි. එක් විටම යම් තිගැස්මක් දැනුනද ඊයේ ගතකළ ස්ථානයට වඩා අපාය උවද හොඳයැයි තීරණයක මා සිටි නිසා මේ සේවා ස්ථානය ලැබීම ගැන මා සතුටු විය. ඒ මෙම ස්ථානය සඳහා අදාළ නවාතැන් පහසුකම් ඒ ගොඩනැගිල්ලේම සපයා ඇති බව දැනගැනීමෙනි.
එයින් පසු එළැඹුනේ දිවා ආහාරය සඳහා වේලාවයි. අප සියලු දෙනාට වැටුපෙන් අඩුකෙරෙන පරිදි රියාල් 500 බැගින් වියදමට ලැබුනි. මූලස්තානය අසල පිහිටි මැක්ඩොනල්ඩ් අවන්හල මෙන්ම තවත් අවන්හල් කිහිපයක් පෙන්වූයේ අපට මුලින් අයදුම්පත් ලබාදුන් නිලධාරියාමය. එයින් ඉන්දියානු තාලයේ ආපනශාලාවක් තෝරාගත් අප එයින් දිවා ආහාරය ලෙස බුරියානි මිළදී ගතිමු. දැන් බර්වා බලා යන කණ්ඩායමට ඇතුලත් වූ මම, ලක්මාල් මල්ලි, රිස්වාන් අයියා, මනාස් අයියා හා රිකාබ් ඇතුලු අපි පස්දෙනා එකට එක්ව සිටියෙමු. මින්පෙර කවදාවත් නොදුටු පිරිසක් සමඟ ජීවිතේ ඉදිරි කාලය ගෙවන්නට සැරසීම කෙතරම් නම් දෛවෝපගත සිද්ධියක්ද? මා මෙන්ම මට පෙරද පසුද බොහෝ දෙනා මේ අත්දැකීමට මුහුණ දෙති. මැදපෙරදිග ජීවිතය එවැනිය. කිසිවක් කලින් සැලසුම් කළ නොහැකිය.
දිවා ආහාරයෙන් පසු අපට දන්වනු ලැබුවේ පසුදා උදෑසන බර්වා බලා යාමට සූදානම් වන ලෙසය. වෙනත් සේවා ස්ථාන ලැබී තිබූ අයට හෙට සිටම රාජකාරියට වාර්ථා කරන ලෙස දැනුම් දී තිබුනි. අපි යළිත් ඊයේ සිටි නවාතැනට පැමිණියෙමු. දැන් එතැන තරමක් හුරුපුරුදුය. ඇදුම් බෑගය නිවරදිව සකසා තැබුවේ උදෑසන පිටත්වීමට ඇති නිසාය. පෙරදා රාත්‍රියේ නොදුටු මුහුණූ කීපයක් අතරින් පතර එබිකම් කරනු දුටුවෙමි. කිහිපදෙනෙක් පැමිණ අප සමඟ සුහද කතාබහක යෙදුනෝය. නන්දන අයියාට ලැබී තිබුනේ දෝහා නගරයේම පිහිටි නිව් වර්ල්ඩ් සෙන්ටර් නම් සුපිරි වෙළඳ සැලයි. හෙට සිට නන්දන අයියාට සමුදිය යුතුවේ. ලංකාවේ සිට යන්තමින් හෝ දැන සිටි පුද්ගලයාද අතැර හෙට යන්නට සිදුව තිබේ. කෙටි කාලයක් තුළ වුවද අපි සමීපයෙන් ඇසුරු කළෙමු.
නන්දන අයියාත් මාත් හවස දෝහා නගරයට ගියේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් මිලදී ගැනීම සඳහායි. නන්දන අයියා හෙට සිට තනිවම උයා ගත යුතු බැවින් ඔහුට ආහාර හා භාජන මිළදී ගත යුතුව තිබුනි. මම රියාල් 150කට ටැබ් යන්ත්‍රයක් මිලට ගත්තෙමි. සැබැවින්ම මෙහි භාණ්ඩ වල මිලගණන් ඉතා ලාභය. ලංකාවේදී මෙන් ස්මාට් ෆෝන්, ටැබ් ආදිය අධික මිල නැත. අවශ්‍ය භාණ්ඩ මිලට ගත් පසු අපි නැවත නවාතැන කරා පිවිසුනේ රාත්‍රී ආහාරයද ගෙනය.
ඊයේ නිදි වර්ජිත වූ ඒ ඇඳටම අදත් නැගුනෙමි. ඊයේ මෙන්ම සීතල සුළඟ අදත් කාමරයට පැන මා පෙළන්නට සැරසෙයි. පහළ පාරේ වාහන යන හඩ ඇසෙයි. බර්වා, එය කුමන ස්ථානයක්දැයි මා සිතුවෙමි. කිසිදු අදහසක් හිතට නොනැගේ. වටින් පිටින් ආරංචි වන ආකාරයට එය මෙම සමාගමේ නවතම ශාඛාවයි. එය පහසුකම් අතින් හොඳ ස්ථානයක් විය යුතුය. දෛවය විසින් මා ගෙන යන තැනක නවතින්නට මා දැන් තීරණය කර ඇත. දැන් සුළඟ වුවද ඊයේ මෙන් කටුක නැත. නිවසේ අය මතක්වීම නම් තවමත් එසේමය. ඉඳින් හෙට ඒ තීරණාත්මක ගමන යා යුතුය. හෙට ඉර නැගෙනතෙක් මා සෙමින් දෑස් පියාගතිමි.

Comments

Popular posts from this blog

ජීවිතේ දිගුම රාත්‍රිය