ජීවිතේ දිගුම රාත්‍රිය


“හිත වාවනු බැරිවී එන්නට, හිතුනොත් ආපහු ගම රට ” කාගේ හෝ ටැබ් යන්ත්‍රයකින් කාමරය පුරා විසිරෙන සේනානායක වේරලියැද්දයන්ගේ ගීතය සිත තව තවත් ඔද්දල් කර දමයි. සේවා මුර අවසන්ව වරින් වර කාමරයට පැමිණෙන නිත්‍ය සාමාජිකයින් අතින් විදුලි බල්බය දැල්වන වාරයක් පාසා අවදිවීම සිදුවෙයි. තට්ටු ඇඳන් පිහිටා ඇති කාමරයේ මට හිමිවූයේ උඩ තට්ටුවේ ඇඳක්ය. ඒ අසලම ඇති විවර කර ඇති ජනේලය තුළින් කටාරයේ සීතල සුළඟ කාමරයට රිංගා ගන්නේ පළමුව අසුවන මා අධික සීතලෙන් පෙලා දමමින්ය.

ජීවිතයේ ප්‍රථම වරට බිරිඳත් දරු දෙදෙනාත් ලංකාවේ තනිකර සැතපුම් දහස් ගණනක දුරක් ගෙවා පැමිණ ගතකරන පළමු රාත්‍රියයි. ලංකාවෙන් එපිට ගෙවෙන පළමු රාත්‍රිය මෙතරම් දිගු වේයැයි කිසිවිටක මට නොසිතී තිබූ තරම! බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළින් “කටාර් එයාවේස්” සමාගමට අයත් ගුවන් යානයට නගින විට සිතේ තිබූ ප්‍රමෝදය දැන් නම් සහමුලින්ම පිටව ගියාක් වැනිය. මා ඇරලවන්නට ගෙදර සියල්ලන්ම පැමිණියේය. වයස අවුරුදු දෙකකට ආසන්න වූ දියණියත්, මාස තුනක් පමණක් වූ පුත්‍රයාත් , බිරිඳත් දමා ඒම කිසිම විටක පහසු කටයුත්තක් නොවීය. මගේ අම්මාට නම් හැඩුනි. බිරිඳ දෙනෙතින් නොහඩන්නේ මා අධෛර්යට පත්වේ යැයි සිතා බව දනිමි. ඇතුළතින් ඇය පෙළන හැඟුම් මා හොඳින් දනිමි.
ඔවුන්ගෙන් ඈත්ව මම ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයට ඇතුල් වුනෙමි. මීට වසර ගණනාවකට පෙර ගුවන් හමුදාවේ සිටිද්දී මේ ගුවන් තොටුපලේම රාජකාරි කළ අයුරුද මට සිහියට නැගුනි. කාලය කොතරම් දේවල් වෙනස් කරන්නේද යන්න අපට හිතා ගැනීමටවත් නොහැකිය. එදා ධාවන පථය ආසන්නයේ තිබූ මුර කපොල්ලක අවියක් දරාගෙන මේ පථය මතින් ඉහළ නගින පහළ බසින නානාප්‍රකාර ගුවන් යානා දෙස බලා සුසුම් සැලුවෙමි. අද මා ද ඒ ධාවන පථයෙන් පිටත්ව යාමට සැරසී සිටී. අප කැඳවාගෙන යන කටාර් ගුවන් සේවයේ කණ්ඩායම පැමිණ තිබුනි. ගුවන් නියමුවරයාත්, සහායක ගුවන් නියමුවාත්, රතු පැහැ නිල ඇඳුමින් සැරසුනු විචිත්රුවත් ගුවන් සේවිකාවන්ද අපට සුභ උදෑසනක් පතා ගුවන් යානය කරා නික්මුනෝය.
ගුවන් යානයේදී මා අසල අසුනේ හිටියේ රිස්වාන් නානාය. රිස්වාන් අයියා පසුව මගේ හොඳම මිතුරෙක් බවට පත්විය. මීට පෙර විදෙස් රටවල් කිහිපයක සේවය කර තිබූ ඔහුට මේ ගමන් ගැන හොඳ අත්දැකීම් තිබුණි. ඔහුගේ කතා කිහිපයක් සමගින් අපි ඉහළ අහසට නැගුන බවවත් මට නොදැනුනි. ගුවන්යානයේ කුඩා කවුලුවලින් දැන් පෙනෙන්නේ නීල වර්ණ ආකාසයම පමණී. පැය පහක පමණ ගමනකින් පසු අප දැන් සිටියේ ඕමාන් රාජ්‍යයට ඉහළ අහසේය. ගුවන් යානය විටෙක තොටිල්ලක් මෙන් පැද්දුනේ අපව බියගන්වන්නට මෙන්ය. පහළින් පෙනෙන මස්කට් නගරයේ සුන්දරත්වය විඳගනිමින් ගුවන් යානය දැන් ඩුබායි නගරයට ඉහළින් ගමන් කරයි. යානය ගොඩබැස්සවීම සඳහා සූදානම් බවත් ආසන පටි පැළඳ ගන්නා ලෙසත් යානයේ කපිතාන්වරයා උපදෙස් නිකුත් කරයි.
තද දුඹුරු පැහැ කාන්තාරයක් පසුකර යානය කටාරයේ අගනුවර වන දෝහා හි හමාඩ් අන්තර්ජාතික ගුවන්තොටුපලට ළංවෙමින් පැවතිනි. පහළට බසිනවාත් සමඟම ඉතා දැඩි අපහසුතාවයක් ඇතිවිය. කන් අඩිය මේ දැන් පුපුරා යාවිදැයි විටක මට සැක සිතුනි. මාත් සමඟ පහළොවක් පමණ වූ පිරිසක් ලංකාවෙන් පැමිණ තිබුනේ කටාරයේ පැවති සුපිරි වෙළඳ සංකීර්ණ ජාලයක් වන අන්සාර් සමාගමේ සේවය සඳහායි. ගුවන් තොටුපලේ කටයුතු අවසන් කර අප බලා සිටියේ අපව කැඳවාගෙන යාමට වාහනය පැමිණෙන තෙක්ය.
මගේ පළමු රාජකාරිය වූයේ සිම්පතක් ලබාගෙන ගෙදරට කතා කිරීමයි. ගුවන් තොටුපලේ පිහිටි Vodafone අලවි සැලකින් සිම් පතක් ගෙන එයට රියාල් 20ක කාඩ්පතක්ද ලබාගතිමි. පවුලේ සියල්ලෝම නිවසට පැමිණ තිබුණි. දීර්ඝ ලෙස කතාකිරීමට නොහැකි බැවින් කෙටි විමසීම් කීපයකින් පසු දුරකතනය තැබුවෙමි. ඒ වනවිටත් අපව කැඳවාගෙන යාමට සමාගමෙන් කිසිවකු හෝ පැමිණ නොතිබිණි. පැයකුත් පමණ ගතවී තිබූ හෙයින් පිරිසේ ඉවසීම දැන් ක්‍රමයෙන් පහව යමින් පවතී. කිහිප දෙනෙක් ලංකාවේ නියෝජිත ආයතනයන්ට කතාකර දැනුවත් කරනු අහන්නට ලැබුනි. අපි කිහිප දෙනෙක් කතාකරමින් සිටියෙමු. හමාඩ් ගුවන් තොටුපල සැබවින්ම ලස්සන අති නවීන උපාංගයන්ගෙන් සමන්විතව තිබුනේ ඉතා ගාම්භීර ලෙසය.
තවත් පැයකට පසුව අප සිටි දෙසට වේගයෙන් පැමිණෙමින් සිටියේ නේපාල ජාතිකයෙකි. කැප් එකක් පැළඳ සිටි ඔහුගේ නම බිරේන්දර් සිංය. අඩි පහක් පමණ උස කෙසඟ සිරුරකට හිමිකම් කියූ ඔහු අප වෙත පැමිණ පළමුව සමාව අයැද සිටියේය. අපව කැඳවාගෙන යාමට නියමිතව සිටි රියදුරා ඔහුය. අපගේ පැමිණීම අමතකව ඔහුට නින්ද ගොස් තිබිණි. ඔහුගේ ස්වරූපය දුටු අපට ඔහුට බැනවැදීමට සිත සාදා ගැනීමට නොහැකි විය. මේ රටවල වැඩකරන අපි කවුරුත් පිටස්තරයෝය. අප එකිනෙකාගේ දුක සුසුම අවබෝධ කරගත යුතුය. එය තේරුම් ගත්තේ කාලයක් ගියාට පසුවය.
ඔහු විසින් කැඳවා ගෙන යන ලදුව අප කුඩා වායුසමීකරණය කළ බස් රථයකට ගොඩවුනෙමු. ඒ පළමු වතාවට මා කටාරයේ පරිසරය දුටු අවස්ථාවයි. අති දැවැන්ත ගොඩනැගිලි ගණනාවක් අප පසු කළෙමු. පළමු වතාවට දකින නිසා මේ ගොඩනැගිලි අරුම පුදුම ඒවා මෙන් මට දැනුනි. අප පසුකළේ දෝහා හි සිටි සෙන්ටර් ප්‍රදේශය බව පසුව දැනගතිමි. විශාල ගොඩනැගිලි පසුකරමින් අප පිවිසුනේ දෝහා නගරයේ තවමත් සංවර්ධිත නොවූ පෙදෙසකටය. මෙහි වූ බොහෝමයක් ගොඩනැගිලි පැරණි තත්වයේ ඒවා විය. කලබලකාරී වීදි කිහිපයක් ඔස්සේ ගමන් කළ බස් රථය කුඩා කඩයක් ආසන්නයේ නැවතිනි.
බසයෙන් බැස ගිය රියදුරා ආපසු පැමිණියේ බනිස් හා සිසිල් බීම වර්ගයක් අතැතිවය. ඔහු අපට ක්‍රීම් බනිස් ජෝඩුව බැගින් හා එක් සිසිල් බීම බෝතලය බැගින් ලබාදුන්නේය. පළමු වතාවට වෙනත් රටකදි ලැබුන ආහාරය අපි ඉක්මනින් භුක්ති වින්දෙමු. ඒ වනවිට වර්ධනය වෙමින් පැවති කුසගින්නට එය කදිම ආහාරයක් විය. ක්‍රමයෙන් ඉදිරියට ධාවනය වූ බස් රථය තට්ටු ගොඩනැගිල්ලක් ඉදිරියේ නැවතිනි. කැමති හය දෙනෙකුට එතැනින් බසින ලෙස දන්වන ලදී. ඒ අනුව කිහිපදෙනෙක් බසයෙන් බැසගත්තෝය. තවමත් අප අතර ලොකු සම්බන්ධකමක් නොතිබිනි. ඒ නිසා ඒ නික්මයාම එතරම් තදින් නොදැනුනි. අවසානයේ ඉතිරි වූ අප ද රැගෙන බස් රථය ඉදිරියට ඇදුනි. බොහෝ තැන්වල ඉඳි ගස් වවා තිබීම මෙහි ආවේණික ලක්ෂණයක් විය. ඉඳි ගස් වෙනුවට වෙනත් ගස් දකින්නට ලැබුනේ නම් ඒ ඉතාම අල්ප වශයෙනි.

අවසානයේදී අපේ ඉරණමද ඉක්මනින්ම ළඟාවිය. පෙර ගොඩනැගිල්ලට වඩා පැරණි තට්ටු නිවාසයක් අසල බසය නැවතිනි. අපගේ බඩු ද රැගෙන ඇතුළට යන ලෙස රියදුරා දැන්වීය. අපි ඔහුට ආචාර කර ඇතුළට ගියෙමු. එය මුළුමනින්ම අවුල් ජාලයකි. පහළ තට්ටුවේ එක පෙලට තබා තිබුනේ රෙදි සෝදන යන්ත්රාය. ඒවා අසල විවිධ රටවල පිරිස් තම වාරය එනතෙක් රැඳී සිටියෝය. ඒ අතර පිලිපීන, නේපාල, බංගලාදේශ, ඉන්දියානු ආදි පිරිස් සිටි බව දැනගත්තේ පසුවය. පිවිසුම අසල සිටි ඉන්දියානු ජාතික මුරකරුවා කැඩුනු ඉංග්‍රීසියෙන් අපට 5 වෙනි මහලට යන ලෙස පැවසුවේය. පස්වැනි මහලෙහි සිටියේ ශ්‍රී ලාංකිකයෝය. ඒ වනවිට වේලාව සවස 5 පසුවී තිබුනි. බොහෝමයක් කාමරවල සිටි පිරිස් ඒ වනවිට සේවය සඳහා පිටත්ව ගොස් සිටියෝය. ඉතිරිව සිටියේ එදා නිවාඩු දවස වූ අය පමණී. කෙසේ හෝ එක් කාමරයක ඉඩක් සොයා ගන්නට මටත් නන්දන අයියාටත් හැකිවිය. මෙහි තිබුනේ සැමට පොදු නානකාමර හා වැසිකිළිය. ඉක්මනින් උදේ සිට හැඳ සිටි ඇඳුම් ඉවත් කර නාගෙන අලුත් ඇඳුමකින් සැරසුනෙමි. සවස 6 පමණ වන විට මාත් නන්දන අයියාත් අපේ නවාතැනින් ඉවතට පැමිණ පාර දිගේ ගමන් කළෙමු. මේ වන විටද පරිසරය සීතල වෙමින් පැවතිනි. මේ කාලයට කටාරයේ අධික සීතල සමය බව පසුව දැනගත්තෙමි. මෙම ප්‍රදේශය තවමත් නවීකරණය වෙමින් පවතින කොටසකි. විවිධ පන්නයේ කම්කරුවෝ ඒවායේ විවිධ රාජකාරිවල නිරතව සිටිනු දකින්නට ලැබෙයි. ඒ ජීවිතය කෙතරම් කටුකදැයි දැනගත්තේ කලකට පසුවය.
වැඩි දුරක් නොයා ආපසු පැමිණීමට තීරණය කර තිබුනේ තවමත් මේ රට අපට නුහුරු බැවිනි. ඉංග්‍රීසි හැරෙන්නට වෙනත් කිසිම බසක් නොදත්තෙමු. අසල තිබූ කඩයකින් රියාල් 20ක් ගෙවා කුකුල් මස් හා රොටි ඇතුලත් කෑම වේලක් මිළදී ගතිමි. අඳුර වැටීමට ආසන්න බැවින් අපි කඩිමුඩියේ ආහාරය ගත්තෙමු. දැන් දැන් සීතලද අධික ලෙස දැනෙමින් තිබුනි. ඉර ලොකු බෝලයක් ලෙස මුහුද දෙසින් බැසයමින් තිබුනි. හිස් වූ සිතුවිලි වලින්ම වටපිට බලමින් අප සිටි නවාතැන් පලට පැමිණියෙමු. ගෙදර අය දැන් මොනවා කරනු ඇතිද? පැය දෙකහමාරක කාල වෙනසක් ඇති බැවින් දැන් ඔවුන් රාත්‍රී ආහාරය ගෙන නින්දට ගොස් ඇතිද? දැන් ඉතින් ආපසු ගෙදර යන දිනය කවදාදැයි නොදනිමි. එතෙක් දිවිය ගෙවන්නට වෙන්නේ මෙතැනමද? හෙට දිනයේ කුමන රාජකාරියක් හිමිවේද? පිළිතුරු නොදන්නා ප්‍රශ්න රාශියක් සමඟ ජීවිතයේ දිගම රාත්‍රිය ගෙවා දැමීම සඳහා තට්ටු ඇඳේ ඉහළට නැගුනෙමි.

Comments

Popular posts from this blog

දෝහා සිට බර්වා දක්වා